ප්‍රතිලාභ – පොදු ප්‍රශ්න

සේවක අර්ථසාධක අරමුදලේ මෙන් ආයතන කිහිපයක සේවය කොට ඇති සාමාජිකයෙකු එක් එක් රැකියා ස්ථානය මගින් දායක මුදල් ගෙවනු ලැබූ සාමාජික ගිණුම් ඒකාබද්ධ කිරීම සිදු කළ යුතු ද?

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් සාමාජිකයන් සම්බන්ධයෙන් එසේ ගිණුම් ඒකාබද්ධ කිරීමක් අවශ්‍ය නොවේ. ප්‍රතිලාභ අයදුම් කිරීමේදී එක් එක් සේව්‍යයා වෙනුවෙන් අයදුම්පතක් බැගින් ඉදිරිපත් කළ යුතුය.

 

සාමාජිකයෙකුට සේවයෙන් ඉවත් නොවී තම ගිණුමට බැරව තිබෙන මුදල් වර්ෂ පහකට වරක් ලබාගැනීමට ඉල්ලුම් කළ හැකි ද?

එසේ කළ නොහැකිය. රැකියාවෙන් ඉවත්වීමෙන් පසුව පමණක් අරමුද‍ල් ශේෂය ඉල්ලුම් කළ හැකිය. සමාගම් සමූහයක එක් සමාගමකින් තවත් සමාගමකට සේවය සඳහා අනුයුක්ත කිරීම හෝ ස්ථාන මාරු කිරීම සේවයෙන් ඉවත් වීමක් ලෙස නොසැලකේ.

වර්ෂ පහේ නීතිය කුමක් ද?

රැකියාවකින් ඉවත් වී අරමුදල් ශේෂය ලබාගැනීමෙන් පසුව එම රැකියාවෙන් ඉවත් වූ දිනයේ සිට වර්ෂ පහක් ගතවන තුරු, සේවය අවසන් වීමක් සිදු වුවද  අරමුදල් ශේෂය ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ නොහැකිය.

මූල්‍ය අවශ්‍යතාවයක් සඳහා සාමාජිකයෙකුට තම ගිණුම් ශේෂයෙන් යම් ප්‍රතිශතයක් ණය මුදලක් ලෙස ලබා ගැනීමට ඉඩ කඩ තිබේද?

එසේ ණය මුදලක් ලබා ගැනීමට දැනට පහසුකම් සලසා නැත. එහෙත් “වියන” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ සාමාජිකයන්ට අඩු පොලී අනුපාත මත නිවාස ණයක් ලබා ගත හැක.

“වියන” නිවාස ණයක් ලබාගන්නේ කෙසේද?

“වියන” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමෙහි ඇතුලත් නියමයන් සහ කොන්දේසි වලට යටත්ව එන්ඩීබී බැංකුව විසින් ණය මුදල් ලබා දෙනු ඇත. මෙම ප්‍රතිලාභය සඳහා මූලික අවශ්‍යතා වනුයේ අරමුදලේ වර්ෂ පහක අඛණ්ඩ සාමාජිකත්වයක් තිබීම සහ සාමාජිකයාගේ ගිණුමෙහි නියමිත ශේෂයක් තිබීමයි. වැඩි විස්තර එන්ඩීබී බැංකුවෙන් විමසා දැන ගත හැකිය.

සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් හට අරමුදලෙන් යම් යම් ප්‍රතිලාභ සඳහා හිමිකම් තිබේ ද?

සාමාජිකයා හට පමණක් ප්‍රතිලාභ හිමිය. කෙසේ වෙතත් ප්‍රතිලාභ යෝජනා ක්‍රම මගින් (උදාහරණයක් වශයෙන් හෘද සැත්කමකදී ලැබෙන මූල්‍යාධාර) සාමාජිකයාගේ පවුලේ අයට ද සහනයක් සැලසේ. පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සාමාජිකයාගේ දරුවන් හට ප්‍රතිලාභ හිමි වේ. 

ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට වයස් සීමාවක් තිබේද?

සියළුම ප්‍රතිලාභ යෝජනා ක්‍රම යටතේ ප්‍රතිලාභ ලැබීම සඳහා සාමාජිකයෙකුගේ වයස අවුරුදු 70 ට අඩු විය යුතුය. එහෙත්, අරමුදලේ වර්ෂ 25 ක සාමාජිකත්වයක් තිබෙන සහ එම කාලය තුල අරමුදල් ශේෂය ආපසු ලබාගෙන නොමැති අවුරුදු 70 ට වැඩි සාමාජිකයන් හට ද ප්‍රතිලාභ හිමිකම් ඇත.

සාමාජිකයන්ගේ දරුවන් හට ලැබෙන ප්‍රතිලාභ කවරේද?

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ලබාගන්නා සාමාජිකයන්ගේ දරුවන් මූල්‍ය ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබති. වර්ෂයකට දරුවන් 9000 ක් වෙනුවෙන් එක් දරුවෙක් සඳහා රු. 15,000/- ක් බැගින් අරමුදලෙන් මූල්‍ය ප්‍රදාන පිරිනමනු ලැබේ.

 

සාමාජිකයෙකු හට තම මරණයෙන් පසුව ප්‍රතිලාභ ලැබීම සඳහා නාමිකයෙකු/නාමිකයන් නම් කළ හැකි ද?

සේවක අර්ථසාධකඅරමුදල සඳහා සිදුකරන ලද නම්කිරීම පදනම් කරගෙන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මියගිය සාමාජිකයන්ගේ යැපෙන්නන් හට හිමි ප්‍රතිලාභ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇත. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ප්‍රතිලාභ ලැබීම සඳහා අරමුදලේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන නම්කිරීම් මණ්ඩලය විසින් භාර ගනු නොලැබේ.

මියගිය සාමාජිකයෙකුගේ ප්‍රතිලාභ ගෙවීම නිර්ණය කිරීමේදී යම් ආරවුල් සහගත තත්වයක් ඇතිවුවහොත් මණ්ඩලය විසින් ගනු ලබන්නේ කිනම් පියවරක් ද?

මණ්ඩලයෙහි නීති අංශය වෙත එවැනි ආරවුල් සහගත ප්‍රතිලාභ අයදුම්පත් උපදෙස් සඳහා ඉදිරිපත් කරනු ඇත. මියගිය සාමාජිකයෙකුගේ නීත්‍යානුකූල උරුමකරුවන් හට ප්‍රතිලාභ ගෙවීම නිශ්චය කිරීමේදී මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වනු ඇත.

සාමාජිකයන්ගේ හෝ සාමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීමට ප්‍රතිලාභ ක්‍රම තිබේද?

දැනට එවැනි ප්‍රතිලාභ ක්‍රමයක් නොමැත. කෙසේ වෙතත් ඉදිරියේදී එවැනි ප්‍රතිලාභ යෝජනාක්‍රම හඳුන්වා දීමට කටයුතු කරනු ඇත.

“ශ්‍රමසුව රැකවරණ” රෝහල්ගත වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කිරීමේ යෝජනාක්‍රමය යටතේ සාමාජිකයෙකුට තම සේවාකාලය තුල ලබාගත හැකි උපරිම ප්‍රතිලාභය රු. 50,000/- කට සීමා වේ. සාමාජිකයෙකු එක් සේව්‍යයෙකු යටතේ සේවය අවසන් කර වෙනත් සේව්‍යයෙකු යටතේ සේවයට ගොස් එකී දෙවන සේව්‍යයා යටතේ සේවය කරන අතර ද රු. 50,000/- ක සීමාව දක්වා ප්‍රතිලාභ ඉල්ලුම් කළ හැකි ද?‍

නැත. මෙම යෝජනා ක්‍රමය යටතේ සාමාජිකයෙකු සිය සම්පූර්ණ සේවාකාලය තුල දී රු.50,000/- ක උපරිමයට යටත්ව ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන්නේ ය.