රැකියාවල නියුතු සාමාජිකයින්

සේ.නි.භා. අරමුදලට දායක මුදල් ප්‍රේෂණය

සේවා යෝජකයකුට සේවකයන් 15කට අඩු සංඛ්‍යාවක් සිටීනම් සේ.නි.භා.අ. ආර් 4 ආකෘති පත්‍රයෙන් දායක මුදල් ගෙවිය යුතු අතර සාමාජික විස්තර එම ආකෘතියේම පිරවිය යුතුය.

සේවා යෝජකයකුට සේවකයන් 15ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටීනම් සේ.නි.භා.අ. ආර් 1 ආකෘති පත්‍රය මගින් දායක මුදල් ගෙවිය යුතු අතර සාමාජික විස්තර වාර්තා ආකෘතිපත්‍රය II යනුවෙන් හදුන්වනු ලබන වෙනම වාර්තාවක් මගින් සෑම හයමසකටම වරක් යැවිය යුතුය. සාමාජික විස්තර පිරවීමේදී ජාතික හැදුනුම්පතේ දැක්වෙන පරිදි නිවැරදි නම, ජා.හැ. අංකය, නිවැරදි සාමාජික අංකය හා දායක මුදල සඳහන් කළ යුතුය.

සටහන :

එකම සාමාජික අංකය සේවකයන් දෙදෙනෙකුට යෙදිය නොහැකි බව සැළකිය යුතුය.

සේ.නි.භා. අරමුදලට දායක මුදල් ප්‍රේෂණය

සෑම සේවකයෙකුම ස්වකීය සේවා නියුක්තයෙහි පළමු දිනයේ සිටම සේ.නි.භා. අරමුදලේ සාමාජිකත්වයට හිමිකම් ලබයි. සේවකයා වෙනුවෙන් සේ.නි.භා. අරමුදලට දායක මුදල් යැවීම සේවා යෝජකයන්ගේ යුතුකම වන අතර සේවා යෝජකයන් ලවා එසේ දායක මුදල් යැවීමට පෙළඹවීම සේවකයන්ගේ ද යුතුකමකි.

සාමාජිකත්වයට සුදුසුකම් ලබන්නේ කවුද යනවග
මෙහිදී රැකියාවේ ස්වභාවය අදාල නොවේ. සියළුම සේවකයන් ස්ථිර, තාවකාලික, ආධුනික, අනියම් හෝ සේවා මුරවලට අයත් සේවකයන් වුවත් ඔවුහු සියළුදෙනාම සාමාජිකත්වයට හිමිකම් ලබති. සේවකයන් සේවය කරනු ලබන්නේ කෑලි ක්‍රමයට ගෙවීමේ පදනම මත, කොන්ත්‍රාත් පදනම මත, වැඩ ඉටු කිරීමේ පදනම මත හෝ වෙනත් කුමන ආකාරයකට වුවද ඔවුහු සාමාජිකත්වයට සුදුසුකම් ලබති.

සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පිරවිය යුතු ආකෘතිපත්‍ර
සේවක අර්ථසාධක අරමුදලට මෙන් සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ආකෘතිපත්‍ර පිරවීම අවශ්‍ය නොවේ.

සේවකයකු වරක් සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වූ පසු දායක මුදල් එම සේවකයන්ට අදාල සේ.අ.අ. අංකය යටතේ යැවිය හැකිය. පෞද්ගලික අර්ථසාධක අරමුදල් ඇති සේවා යෝජකයන්ට ඔවුන්ගේ පෞද්ගලික අර්ථසාධක අරමුදල් අංක යටතේ දායක මුදල් යැවිය හැකිය.

ගිණුම් ඒකාබද්ධ කිරීම

සේවක අර්ථසාධක අරමුදලේදී මෙන් වෙනස් සේවා යෝජකයන් යටතේ ගිණුම් ඒකාබද්ධ කිරීමක් සිදු නොවේ.

සාමාජික නම් සංශෝධන කිරීම
සංශෝධන වල ස්වභාවය මත රඳා පවතිමින් පහත දක්වා ඇති පියවරවල් ගත යුතුය
  1. දායක මුදල් ප්‍රේෂණ ආකෘති පත්‍ර ආර් 1 මගින් ගෙවනු ලබන්නේ නම්ද වාර්තා ආකාති පත්‍ර II මගින් තොරතුරු යවනු ලබන්නේ නම්ද කළමනාකරු – සාමාජික ගිණුම් (විශාල වර්ගය) වෙත යැවිය යුතුය.
  2. දායක මුදල් ප්‍රේෂණ ආකෘති පත්‍ර ආර් 4 මගින් ගෙවනු ලබන්නේ නම්, මූල්‍ය කළමනාකරු – සාමාජික ගිණුම් (කුඩා වර්ගය) වෙත යැවිය යුතුය.
ජාතික හැඳුනුම්පත් අංකය සංශෝධනය කිරීම
නම, පැරණි ජාතික හැඳුනුම්පත් අංකය, නව ජාතික හැඳුනුම්පත් අංකය සහ වෙනස් කිරීමට හේතුව සනාථ කරමින් සේවා යෝජකයාගෙන් ලබාගත් ලිපියක් යැවිය යුතුය. මෙයට අමතරව, අවශ්‍ය අවස්ථාවන්හිදී ග්‍රාමසේවකගෙන් හෝ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ලබාගත් ලිඛිතව තහවුරු කරන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතුය. ජාතික හැඳුනුම්පත් අංකයෙහි වෙනස්වීම අවිනිශ්චිත ස්වභාවයක පවතින්නේ නම් ඉල්ලීමක් සමඟ නිසි ලෙස සකසන ලද ලේඛනයක් එවිය යුතුය.

ජාතික හැඳුනුම්පත් අංකය සංශෝධනය කළ යුත්තේ ඇයි?

සේ.නි.භා. අරමුදලෙහි ඇති ජාතික හැඳුනුම්පත් අංකය සහ සාමාජික විසින් ලබාදී ඇති ජාතික හැඳුනුම්පත් අංකය එකිනෙකට ගැලපිය යුතුය.