ස්වයං රැකියාවල නියුතු සාමාජිකයන්

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ස්වයං රැකියාවල නියුතු සාමාජිකයන් රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික අංශයේ සේවකයන් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත යුතු අතර එම සේවකයන් විසින් භුක්ති විඳිනු ලබන වරප්‍රසාද සහ ප්‍රතිලාභ ස්වයං රැකියාවල නියුතු සේවකයන්ට ද ලබාදීමේ අරමුණින් 1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 18 වැනි වගන්තිය ප්‍රකාරව ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන්ගේද මෙම අරමුද‍ලේ සාමාජිකත්වය ලබාගැනීමට සුදුසුකම් ලැබූ අය වෙති. මෙම පනත 1988 අංක 47 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (සංශෝධිත) පනත ලෙස සංශෝධනය කිරීමෙන් අනතුරුව එකී පනතේ 6වැනි වගන්තිය ප්‍රකාරව සංක්‍රමික සේවකයන්ගේ සේවාවේ නියුතු සේවකයෝද මෙම අරමුදලේ සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් ලැබූ අය වෙති. එසේහෙයින් විදේශ රටවල සේවයේ නියුතු පුද්ගලයෝද සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසු අය වෙති.

“ස්වයං රැකියාවක නියුතු පුද්ගලයකු” යන්නට නිර්වචනය කිරීමක් දක්වා නොමැති වුවද ස්වයං රැකිවාවක නියුතු පුද්ගලයන් සම්බන්ධයෙන් දැක්විය හැකි පොදු උදාහරණ පහත දැක්වේ.

කර්මාන්ත ශිල්පීන්

ඇඟලුම්, යකඩ, ස්වර්ණාභරණ, පිත්තල කර්මාන්තය, කුඹල් කර්මාන්තය, හස්ත කර්මාන්තය, උළු සහ ගඩොල් කර්මාන්තය, කැටයම් වැඩ ආදිය

ව්‍යවසායකයන්

සිල්ලර වෙළඳාම, පදික වෙළඳාම, දවස් පොළ

ප්‍රවාහනය

ත්‍රීරෝද රථ, පෞද්ගලික බස්රථ, පාසල් වෑන්රථ

ධීවර කර්මාන්තයේ නියුතු අය

ධීවර කර්මාන්තයේ ඍජුවම යෙදෙන අය

වෘත්තිකයන්

නීතීඥයන්, ගණකාධිකාරීවරැන්

කෙසේවුවද විශ්‍රාම වැටුප් ලබාගන්නා රජයේ සේවකයකුට සහ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකුට මෙම යෝජනාක්‍රමය යටතේ සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් නොමැත. සාමාජිකත්වය ලබා ගැනීමට උපරිම වයස් සීමාවක් නොමැති වුවද වයස අවුරුදු 70 හෝ ඊට වැඩි වයස්ගත සාමාජිකයකු ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් නොලබන අතර දායක මුදල් සම්බන්ධයෙන් වාර්ෂික පොළිය සහ ලාභාංශ පමණක් ඔහුට ලැබේ.

දායක මුදල් ගෙවීම

  • සංක්‍රමික සේවකයන්

    ☛ සාමාජිකයා විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම ඇති බැංකුවේ ස්ථාවර නියෝගයකින් අදාල මාසික දායක මුදල් මාරුකිරීම සඳහා කටයුතු සැළසීම

    ☛ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නමට ලියන ලද චෙක්පතක් මගින් හෝ මුදලින් ශ්‍රී ලංකාවේ පදිංචි සාමාජිකයාගේ ඥාතියෙකු මගින් ප්‍රධාන කාර්යාලය වෙත දායක මුදල් යැවීමට කටයුතු සැළසීම එවැනි සියළුම අවස්ථාවලදී නම සහ ජාතික හැඳුනුම්පත් අංකය මණ්ඩලය වෙත දැනුම්දීම අනිවාර්ය වේ.

  • ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන්

    ☛ අංක 119100180000287 දරණ අපගේ ජංගම ගිණුම මගින් මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකදී දායක මුදල්, මුදලින් ගෙවිය හැකිය. මුදල් ගෙවන විට සාමාජිකයාගේ හැඳුනුම්පත් අංකය සහ නම මුදල් බැරපතේ සඳහන් කිරීම අනිවාර්ය වේ.

    ☛ රේඛණය කළ චෙක්පතක් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නමට නිකුත් කර තැපැල් මගින් හෝ අතින් ගෙනැවිත් ප්‍රධාන කාර්යායේ ස්වයං රැකියා අංශය වෙත භාරදීම නැතහොත් මෙම අංශයේදී මුදලින් ගෙවීම් කිරීම

    ☛ ගෙවන කාර්යාලය ලෙස කොළඹ කම්කරු ලේකම් කාර්යාලය තැපැල් කාර්යාලය සඳහන් කර මුදල් ඇණවුමක් එවීම

    ☛ ළඟම ඇති ප්‍රාදේශීය කාර්යාලයට හෝ දිස්ත්‍රික් කාර්යාලයට නැතහොත් අපගේ ක්‍ෂේත්‍ර නිළධාරියාට මුදලින් ගෙවීම

    ☛ ඔබේ බැංකුවට ස්ථාවර නියෝගයක් ලබාදීමෙන්ද ගෙවීම් කළ හැකිය. ඉහත II, III, IV, V යන සියළුම අවස්ථාවලදී නම සහ සාමාජික අංකය මණ්ඩලය වෙත දැනුම්දීම අනිවාර්ය වේ

    ☛ ප්‍රධාන කාර්යාලයේ ස්වයං රැකියා අංශයට අනුබද්ධිත සමිතිවලට කොමර්ෂල් බැංකුවේ තිබෙන අපගේ අංක 1220003370 දරණ ජංගම ගිණුමට ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවක් මගින් මුදල් බැරකළ හැකිවන අතර අපගේ ගිණුමට මුදල් බැරකරන ලද කොමර්ෂල් බැංකු ශාඛාවේ නම ඇතුළුව සාමාජිකයන්ගේ නම් එක් එක් සාමාජිකයා වෙනුවෙන් ගෙවූ අදාල දායක මුදල, සාමාජික අංක ෆැක්ස් පණිවුඩයක් මගින් දැනුම්දිය යුතු අතර මීට අමතරව මෙම තොරතුරු අපට තැපෑල මගින් ලැබීමට සැලැස්විය යුතුය.

සාමාජිකත්වය නතර කිරීම

ඕනෑම සාමාජිකයකුට තමා ශ්‍රී ලංකාවෙන් පිටතදී ස්වයංරැකියාවක නිරතවීම හෝ රැකියාවක නිරත වීම නතර වූ විට සාමාජිකත්වය නතර කිරීම සඳහා නිසි පරිදි සම්පූර්‍ණ කරන ලද අයදුම්පත (ස්වයංරැකියාවල නියුතු අය සඳහා SE-D ආකෘති පත්‍රය සහ සංක්‍රමික සේවක සාමාජිකයකු සඳහා MW-D ආකෘතිපත්‍රය ඉදිරිපත් කර ශේෂ මුදල පොළිය සහ ලාභාංශ සහිත තැන්පත් කර ඇති මුළු මුදල) ලබා ගැනීමට ඉල්ලුම්කිරීමෙන් ඕනෑම අවස්ථාවක සාමාජිකත්වය නතර කළ හැකිය.

සාමාජිකත්වය අතහැරයන තැනැත්තෙකුට නව සාමාජික අංකයක් යටතේ ඉදිරි දිනයක නැවත අරමුදලේ සාමාජිකත්වය ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකිය. “සංක්‍රමික සේවකයන් සහ ස්වයංරැකියාවල නියුතු අය අනිවාර්ය ඉතිරිකිරීම් සඳහා දිරිගැන්වීම” අපගේ සංකල්පය වී ඇත.

සාමාජිකත්වය ලබා ගැනීම සහ සාමාජිකත්ව දායක මුදල් ගෙවීම

ස්වයංරැකියාවක නියුතු අය සඳහා “SE-A” ආකෘති පත්‍ර අයදුම්පත ද සංක්‍රමික සේවකයන් සඳහා “MW-A” ආකෘති පත්‍ර අයදුම්පතද නිසිලෙස සම්පූර්ණ කර ප්‍රධාන කාර්යාලයට, ප්‍රාදේශීය කාර්යාලයට, දිස්ත්‍රික් කාර්යාලයට නැතහොත් ක්‍ෂේත්‍ර නිළධාරියකු වෙත සාමාජිකත්ව මුදල් සමඟ ඉදිරිපත් කිරීමෙන් සාමාජිකත්වය ලබාගත හැකිය.
විද්‍යුත් තැපෑල මගින් අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන් පළමු මාසය සඳහා දායක මුදල පහත සඳහන් ලිපිනයට එවීමට කටයුතු කළ යුතුය.

සාමාජිකත්වය ලබන සෑම සාමාජිකයෙකුටම සාමාජිකත්ව සහතිකයක් ප්‍රමාදයකින් තොරව නිකුත් කරනු ලැබේ.

දායක මුදල් සහ ගෙවීමේ ක්‍රමය

ප්‍රතිලාභ, පොළිය සහ ලාභාංශ

වර්ෂය අවසානයේදී වාර්ෂික පොළිය සහ ලාභාංශ එක් එක් පෞද්ගලික සාමාජිකයාගේ ගිණුමට බැරකරනු ලැබේ. වාර්ෂික පොළිය, සාමාජිකයාගේ ගිණුම් ශේෂය ආදිය පිළිබඳ විස්තර ඇතුළත් සාමාජික ගිණුම් වාර්තාවක් සෑම වර්ෂයකම සැප්තැම්බර් 30 දිනට පෙර සාමාජිකයා වෙත නිකුත් කරනු ලැබේ.
යම් සාමාජිකයකු විසින් මාස 3ක් එක දිගටම හෝ යම් වර්ෂයක මාස 5ක් වරින්වර නියමිත පරිදි දායක මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් අදාළ වර්ෂය වෙනුවෙන් පොළිය හා ලාභාංශ ලැබීමට ඔහුට හෝ ඇයට ඇති හිමිකම අහිමි වේ.
ප්‍රධාන කාර්යාලයේ ස්වයං රැකියා අංශය වෙත අදාල ආකෘති පත්‍රය ඉදිරිපත් කිරීමෙන්ද ප්‍රාදේශීය කාර්යාලවලට හෝ දිස්ත්‍රික් කාර්යාලවලට නැතහෝත් ක්‍ෂේත්‍ර නිළධාරීන් මගින් එම ආකෘතිපත්‍ර භාරදීමෙන් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය. ප්‍රතිලා ගෙවීම ප්‍රතිලාභ පරිපාලන අංශය මගින් නියමකර ඇති කොන්දේසි යටතේ සිදුකරනු ලැබේ.
ස්වයංක්‍රීයව හිමිවන  ජීවිත රක්‍ෂණ ආවරණය (රු. 100,000.00ක උපරිමයකට යටත්ව) සදාකාලික සහ පූර්ණ වශයෙන් ආබාධිතවීම (රු. 200,000.00ක උපරිමයකට යටත්ව) හදවත් සැත්කම සඳහා මූල්‍යාධාර (රු. 300,000.00) වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මය සඳහා මූල්‍යාධාර (රු. 300,000.00) අක්‍ෂිකාච බද්ධකිරීම සඳහා වියදම් ප්‍රතිපූරණය කිරිම (එක් ඇසක කාච බද්ධ කිරීම සඳහා රු. 15,000.00) රු. 15,000.00 බැගින් ශිෂ්‍යත්ව 9000ක් පිරිනැමීම – කුසලතා දක්වා වසර පහ ශිෂ්‍යත්ව විභාගය සමත් වන ළමයින්ට ශිෂ්‍යත්ව එක බැගින් පිරිනමනු ලැබේ. වාර්ෂිකව රු. 25,000.00ක උපරිමයකට යටත්ව රෝහල්ගතවීමේ වෛද්‍ය රක්‍ෂණ ක්‍රමයේ සාමාජිකත්වය දරණ කාලය තුළ ඒ සඳහා ලබාගත හැකි උපරිම මුදල රු. 50,000.00කි. නිවාස ණය ක්‍රමය යන ප්‍රතිලාභ දැනට බලපවත්වන ප්‍රතිලාභ වේ.

අක්‍රීය සාමාජිකයකු සක්‍රීය කිරීම

යම් සාමාජිකයකු සම්බන්ධයෙන් ආසන්නතම වශයෙන් ගෙවිය යුතු දායක මුදල හිඟව ඇතිවිට ඔහු අක්‍රීය සාමාජිකයකු ලෙස සැළකේ. එවැනි අක්‍රීය සාමාජිකයන් විසින් ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීමෙන් සක්‍රීය තත්ත්වය එම සාමාජිකයන්ට ලබාගත හැකිය.