රැකියාවල නියුතු සාමාජිකයින් – පොදු ප්‍රශ්න

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ලියාපදිංචි අංකය

සේ.නි.භා.අ.  දායක මුදල් ගෙවීම සඳහා ලියාපදිංචි අංකය භාවිතා කළ යුතු වන්නේ, සේවක අර්ථ සාධක අරමුදලෙහි ලියාපදිංචි වූ අංකයම වේ. සේවක අර්ථසාධක අරමුදලෙහි ලියාපදිංචි නොවී, තමන්ගේ පෞද්ගලික අර්ථසාධක අරමුදලක් භාවිතා කරනු ලබන සේවායෝජකයින්හට පුද්ගලික අර්ථසාධක අරමුදල් අංකයක් සේ.නි.භා. අරමුදල් මණ්ඩලයෙන් ලබාගෙන, එම අංකයට දායක මුදල් ගෙවීම් කළ හැක.

තම සේවා නියුක්තයන්හට ලියාපදිංචි අංක ලබාදීමේ වගකීම

තම සේවාදායකයා වෙත ලියාපදිංචි අංක ලබාදීම සම්පූර්ණ වගකීම පැ‍වරෙනුයේ, සේවායෝජකයා වෙතයි.  සාමාජික අංක  ලබාදීමේදී පළමු සේවා නියුක්තයා වෙත  අංක 1 ද,  දෙවැන්නාට අංක 2 ආදී වශයෙන් ලබාදිය යුතු අතර, සාමාජිකයාගේ අංකය සැකසෙනුයේ සේවායෝජකයාගේ අංකය/සාමාජිකයාගේ අංකය වශයෙනි.


උදා :-   සේවායෝජකයාගේ   අංකය  A 85000  නම්, සේවකයාගේ  අංකය  1 නම්, සේවකයාගේ  සාමාජික අංකය වනුයේ  85000/A/01 ලෙසිනි.

වැරදීමකින්,එලෙස අංක ලබාදීමක් සිදුවී නැත්නම්, එය නොපමාව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වෙත දැනුම්දී නිවැරදි කර ගැනීම සේවායෝජකයාගේ වගකීම වේ.  එවැනි වැරදි අංක ලබාදීමෙන් සිදුවන හානියෙහි වගකීම පිළිබඳ මණ්ඩලය වගනොකියන අතර, මුදල් එවනු ලබන  ප්‍රේෂන නිවේදන  සහ  සෑම ලිපි ගණුදෙනුවකදීම  සේවක අර්ථසාධක  අංකය සහ තිබේ නම්, දුරකථන අංකය සටහන් කළ යුතුය.

සාමාජිකයාගේ නම වැරදී ඇති අවස්ථාවක කළ යුතු ක්‍රියා පිළිවෙත

සියළුම දායක මුදල් වාර්තා වල සාමාජිකයාගේ හැඳුනුම්පත් අංකය සහ ජාතික හැඳුනුම්පතෙහි සඳහන් ආකාරයට නම ලිවිය යුතුය.

නම වැරදියට සඳහන් කර එවා ඇති අවස්ථාවකදී, සේවායෝජකයා විසින් නිවැරදි නම සහතික කරන ලද ලිපියක්, සහතික කරන ලද ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් සමග සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ “සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික ගිණුම්), කම්කරු මහලේකම් කාර්යාලය, කොළඹ 05.” යන ලිපිනයට එවිය යුතුය.

ජාතික හැඳුනුම්පත් අංකය වෙනස් ලෙස සටහන්කොට එවා ඇති අවස්ථා වලදී කළයුතු ක්‍රියා පිළිවෙත

මුලින්ම එවා ඇති අංකයත්, පසුව එවනු ලබන නිවැරදි අංකයත්, අංකය වෙනස් ලෙස එවීමට හේතුවත් සේවායෝජක විසින් සහතික කර දන්වා එවිය යුතු අතර, සමහර අවස්ථා වලදී ජා.හැ.ප. අංකය වෙනස්වී ඇති අවස්ථා වලදී, පුද්ගලියන් ලියපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ සහතික කිරීමක් ද අවශ්‍ය වනු ඇත.  ජාතික හැඳුනුම්පත් අංකය අතිශයින්ම වැදගත් වන  බැවින්, අංකය වෙනස්වීම් සනාථ කිරීමට අවශ්‍ය ලිඛිත ලේඛන අදාල ලිපිය සමග එවීමට කටයුතු කළ යුතුය.

 

ජාතික හැඳුනුම්පත් අංකය අවශ්‍ය වන අවස්ථා

  • ප්‍රතිලාභ ඉල්ලුම්කරන අවස්ථා වලදී.
  • නිවාස ණය ඉල්ලුම් කිරීමකදී.
  • සාමාජික ගිණුමේ ශේෂය තහවුරු කර ගැනීමට අවශ්‍ය අවස්ථා වලදී.

ඉහත අවස්ථා වලදී සේ.නි.භා. අරමුදල් මණ්ඩලයට ලබාදී ඇති ජාතික හැඳුනුම්පත් අංකය සහ සාමාජිකයා විසින් ඉදිරිපත් කරනු ලබන ජා.හැ.ප. අංකය සමාන විය යුතුය

සක්‍රිය සාමාජිකයන්හට වාර්ෂික සාමාජික ගිණුම් වාර්තා නිකුත් කරනුයේ කෙසේද?

පසුගිය වර්ෂය  අවසානයේ  සාමාජික ගිණුමේ ශේෂය පිළිබඳ විස්තර ඉදිරි වර්ෂය තුලදී  නිකුත් කරනු ලබයි. නියමිත කාලසීමාව තුලදී අරමුදල් ආර් 1, ආර් 4 මගින් හා ආකෘති II  වාර්තා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට ලැබී ඇත්නම් පමණක්, එම වර්ෂයට අදාල විස්තර ගිණුම් ප්‍රකාශනයට ඇතුලත් කරනු ලැබේ.  කිසියම් වර්ෂයක ජනවාරි සිට ජූනි ආකෘති II  වාර්තා එම වර්ෂයේ අගෝස්තු  මස වැඩ කරන අවසාන  දිනට පෙරත්,  ජූලි සිට දෙසැම්බර් ආකෘති II  වාර්තා, ඊළඟ වර්ෂයේ පෙබරවාරි මස වැඩ කරන අවසාන දිනට පෙර, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වෙත ලැබිය යුතුය. මෙම ගිණුම් ප්‍රකාශනය අදාල සාමාජිකයින්ට භාරදී, ඒවායේ ඇතුලත් තොරතුරු වල (සාමාජික නම, අංකය, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දායක මුදල් වල)  කිසියම්  දෝෂයක් පවතී නම්, ඒ බව එම ගිණුම් ප්‍රකාශනයේ සඳහන් ලිපිනයට දැනුම් දෙන්න.

 

සාමාජිකයෙක් සේවානියුක්තයන්ගේ භාර අරමුදලට දායක වීම ආරම්භ වන්නේ කවදාද?

සේවකයෙකුට රැකියාවට බැඳුන පළමු දිනයේ සිටම සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලැබීමට හිමිකම්  ලැබේ. සේවකයාට සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබාදීම සේවායෝජකයාගේ වගකීමයි.  එලෙසම, ඒ සඳහා සේවායෝජකයා උනන්දු කරවීම සේවකයාගේ ද වගකීමයි.

 

සාමාජිකත්වය ලැබීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද ?

රැකියාවේ ස්වභාවය කවරක්ද යන්න අදාල නොවේ.  තමන්ගේ රැකියාව ස්ථිරද?  තාවකාලික ද?  ආධුනික ද? අනියම් ද? වැඩමුර සේවයක්ද? යන කවරක් වුවද  එම  සේවකයා සාමාජිකත්වය  ලැබීමට සුදුසුකම් ලබයි. කෑලි ක්‍රමය, කොන්ත්‍රාත් පදනම, කොමිස් ලැබීමේ පදනම, වැඩෙහි අවසන් කළ කොටස් පදනම, වැනි කවර ආකාරයේ රැකියාවක නිරතවන්නෙක් වුවද, සාමාජිකත්වය ලැබීමට සුදුස්සෙකි.

 

සේවක අර්ථසාධක අරමුදලෙහි මෙන් සේවායෝජකයින් වැඩි දෙනෙකු යටතේ සේවය කරන අවස්ථාවන්හිදී, ගිණුම් ඒකාබද්ධ කිරීම අනවශ්‍ය ද?

සේවක අර්ථසාධක අරමුදලෙහි මෙන් සේ.නි.භා. අරමුදලෙහි සාමාජික ගිණුම් ඒකාබද්ධ කිරීමක් සිදු නොවේ.  සාමාජිකයෙකුට සාමාජික ගිණුම් කිහිපයක් තිබිය හැකි අතර, ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමේදි සේවායෝජකයින් පදනම්කරගෙන එම වෙන් වෙන් ගිණුම් සඳහා ප්‍රතිලාභ ඉල්ලුම්පත් වෙන වෙනම සම්පූර්ණ කර ඉදිරිපත්  කළ යුතුය